Friday, May 6, 2016

ආඩම්බර ඇලිදෝනා (ඇබර්ඩීන් ඇල්ල)


සංචාරකයන් වැඩි දෙනෙක් ගේ කතාබහට ලක්නොවන මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවර එළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන ප්‍රදේශයේ කෙහෙල්ගමුව කඳු පන්තියට වන්නටය. මෙම ඇල්ල නැරඹීමට මාර්ග කිහිපයක් භාවිත කල හැක.ඔබට මස්කෙළිය -දෙහිගස්තෙන මාර්ගය ඔස්සේ ගොස් තවත් 2 Km ක තරමක දුෂ්කර ගමනක් ඇත.නැතිනම් ගිනිගත්හේන නගරයෙන් ඇල්ල උඩ මාර්ගයේ යන යනවිට හුලන්වන්ගුව අසලදී ඇලගල ග්‍රාමය සමීපවත්ම සුන්දර ඇබර්ඩීන් ඇල්ල දුර සිට දර්ශනය වේ. අඩි 32ක උසින් යුත් ඇබර්ඩීන් දියඇල්ලට ලංකාවේ උසින් වැඩිම දියඇලි ලැයිස්තුවේ හිමිවන්නේ 18 වැනි ස්ථානය. කැලණි ගඟේ අතු
ගංගාවක්වන කෙහෙල්ගමු ඔයෙන් ඇබර්ඩීන් දියඇල්ල නිර්මාණය වෙලා තියෙනවා.


අෑත දුරාතීතයේදී මෙම ඇල්ල හඳුන්වා ඇත්තේ ‘ඇලිදෝනා’ ඇල්ල නමිනි. එදා විදේශීය වතු අධිරාජ්‍යයකට යටව පැවැති සමයේ අවට පිහිටුවාලූ තේ වත්තට තබා තිබූ ඇබර්ඩීන් නාමය පසු කලෙක මෙම ඇල්ලට තබා තිබීමෙන් අද වන විට එදා අප රට වැසියන්ගේ කටට හුරුව තිබූ ‘ඇලි දෝනා’ ඇල්ල ඇබර්ඩීන් ඇල්ල ලෙස හැඳින්විණි. එදා පටන් එම ඇල්ල අදටත් ව්‍යවහාර වන්නේ ඇබර්ඩීන් දිය ඇල්ල නමිනි. තවත් අදහසක් වන්නේ මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ තෙවැනි විශාලම  නගරයේ නම සිහිවීමට ඇබර්ඩීන් ලෙස නම් තැබූ බවටයි.

මෙය "Horsetail" අකාරයේ දිය ඇල්ලක් වන අතර ඇල්ල මට්ටම් තුනකට කඩා හැලේ.කැලෑව වැවී මාර්ගය තරමක් අවහිර වී තිබීම හේතුවෙන් ඇබර්ඩීන් දියඇල්ල පාමුලට යෑම තරමක් අසීරු වූ කාර්යයකි. මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම දිනවල දී ඇබර්ඩීන් දියඇල්ල අතිශයින්ම ප්‍රචණ්ඩ ව පවතී. දියඇල්ලට මීටර් 100 ක් පමණ ඈතින් සිටින පුද්ගලයෙකු හිරිකඩවලින් නැහැවීම එම ප්‍රචණ්ඩත්වයේ තරම කදිමට කියාපාන්නකි.

පැමිණ දෑසින් දැක සුන්දරත්වය විඳිනවා සේම ඒ ලස්සන තවත් කෙනෙකුට දකින්ට ඒ ආකාරයෙන්ම ඉතිරි කිරීම කාගේත් යුතුකමකි. මේ නිසා අවට පරිසරය ඒ ආකාරයෙන් තිබෙන්නට හැර  ඔබ ගෙන යන දෑ ඔබ විසින්ම රැගෙන එන්න අමතක කරන්න එපා.                                                                                                                                                                                                              



--
...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname